සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන්ගෙන් උතුම්ම දානය ධර්ම දානයයි.

මෙත් මල් පිබිදේවා!
Showing posts with label පූජණීය ස්ථාන. Show all posts

හිඳගල රජමහා විහාරය


මහනුවර සිට හිඳගල විහාරස්ථානයට කිලෝමීටර් 06 ක් පමණ දුර වේ. මෙම විහාරස්ථානය ශාන්ත පරිසරයක පිහිටා ඇත. වළගම්බා රජු සමය, ගම්පළ යුගය. මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන මෙම විහාරස්ථානයේ සිතුවම් වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්සිතුවම් හා සීගිරි චිත්‍රවලට බව විදග්ධ මතයයි.

පේරාදෙණිය ගලහ පාරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරය පසුකොට කිලෝමීටර් 2 ක් ගිය තැන හිඳගල විහාරස්ථානය හමුවෙයි. මෙය කුඩා කඳු මුදුණක පිහිටා ඇත. විහාරය අද්දරින් කුඩා දිය ඇළක් ගලා බසී.
විහාරයේ ඉතිහාසය වළගම්බා රජුගේ සමය දක්වා දිවයයි. වළගම්බා රජු හිඳගල විහාරයේ ලෙන සටන් පුහුණු මධ්‍යස්ථානයක් හා රට එක්සේසත් කිරීමේ කේන්ද්‍රයක් ලෙසත් යොදාගත් අතර එහි සිහිවටනයක් ලෙස හිඳගල රජමහා විහාරය නිර්මාණය කර ඇතැයි ඉතිහාසය කියයි.
ක්‍රිස්තු වර්ෂ 6 සහ 7 වැනි සියවස්වලට අයත් ලංකාවේ පැරණිතම බෞද්ධ චිත්‍රය මෙහි දක්නට ලැබේ. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතයට අනුව බුදුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේදි මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කිරීම මෙහි ඇතුළත් වේ. පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ මෙහි චිත්‍ර 5-6 වැනි සියවස්වල සීගිරි චිත්‍ර යුගයට අයත් බවත් වෙයි.

ඉන්ද්‍රපාල ගුහා වශයෙන් හඳුන්වන්නට ඇති අතර පසුව එය හිඳගල වී ඇතිබවත්ය. ගම්පළ යුගයේ 3 වැනි වික්‍රමබාහු රජුගේ සමයේදී මෙම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණයට ලක්වී ඇත. හෙන කඳ බිසෝබණ්ඩාර දේවියගේ රාජනුග්‍රහය මෙම විහාරයට ලැබී ඇතැයි පැවැසේ. එම දේවියගේ කාලයේදී මෙම විහාරස්ථානයට හැටපස් අමුණක් ඉඩම් පූජා කොට ඇත. ගම්පළ යුගයෙන් පසු රාජාධිරාජසිංහ රජුගේ සමයේදි ගම්පළ යුගයේ අඳින ලද චිත්‍ර එම රජුගේ මහනුවර යුගයේ කාලයේ යළි ප්‍රතිසංස්කරණයට ලක් වී ඇත.
විහාරය තුළ වෙස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, සූවිසි විවරණය, සත් සතිය, මාරපරාජය සුජාතාවගේ කිරිපිඩුදානය, මහා අභිනිෂ්ක්‍රමණය ඇතුළතින් චිත්‍ර දක්නට ලැබේ. ඉංගී‍්‍රසින්ට ලක්දිව යටත්වූ පසුව පුසුල්පිටියේ තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන අතරතුර හිඳගල විහාරයේ දිනක් තැන්පත් කර තිබූ බවත් සඳහන් වේ. මෙම හිඳගල විහාරයේ විහාරාධිවාසි ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් සඳහන් කරන්නේ ලංකාවේ ඉපැරණිම චිත්‍ර දක්නට ඇති බවයි.
හිඳගල ඵෙතිහාසික විහාරස්ථානය මෙරට සිතුවම් කලාවේ කේන්ද්‍රස්ථානයක් වන අතර එම සිතුවම් මතු පරපුරට ආරක්ෂා කොට දීම වගකිවයුත්තන්ගේ පරම යුතුකමකි.
මහනුවර සිට හිඳගල විහාරස්ථානයට කිලෝමීටර් 06 ක් පමණ දුර වේ. මෙම විහාරස්ථානය ශාන්ත පරිසරයක පිහිටා ඇත. වළගම්බා රජු සමය, ගම්පළ යුගය. මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන මෙම විහාරස්ථානයේ සිතුවම් වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්සිතුවම් හා සීගිරි චිත්‍රවලට බව විදග්ධ මතයයි.
මෙහි ඇති බුදුන් වහන්සේගේ චිත්‍රය අජන්තා චිත්‍ර සම්ප්‍රදාය සිහිපත් කරන බව විදග්ධ මතය බවට පත්වී ඇත. බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායයන් ගවේෂණය කරන්නන්ට මෙම හිඳගල විහාරය මහාර්ඝ සම්පතකි.

0

History of Ruwanweli Maha Seya




Download Ebook by Ven.Galigamuwe Gnanadeepa Thero
https://drive.google.com/open?id=0B667utxgam7aREFYcDR2OEp6eFk



0

ලංකාතිලක පිළිමගෙය



මාතෘ භූමියේ ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ කලාවේ ආර්ථිකයේ යටගියාව සොයා යන ගවේෂකයාට කිසිසේත්ම පොළොන්නරුව අත් හැර ඉදිරියට ගමන් කළ නොහැක.
ඒ යන චාරිකාවේදී ගවේෂකයා ලංකාතිලක විහාරය ළඟ නැවතී බලන්නේ විශ්මයට පත්වූ සිතින්මය. ඒ තරමටම මෙය සුවිශේෂීය. කලාත්මකය. කුතුහලය දනවන සුළුය. වරක් දැක සෑහීමකට පත්නොවන අපූර්වත්වයෙන් පිරිපුන් ය.


මෙය නමටම සරිලන නිර්මාණාත්මක ඉදිකිරීමකි. එය ලංකාවට තිලකයක් බඳුය.
චූල වංශයට අනුව ලංකාතිලක පිළිමගෙය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද විශිෂ්ට බෞද්ධ කලා නිර්මාණයකි.

මීට වසර එක්දහස් අටසිය ගණනකට පෙර ගොඩනංවන ලද මෙම පිළිමගෙයෙහි අද අප දකින්නේ ශේෂ පත්‍රයක් පමණි.
එහෙත් පුරා ලකුණු මතින් වුව එහි පැවැති අපූර්වත්වයේ විශේෂිත ලකුණු හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
ලංකාවේ ඉදිකරන ලද බුද්ධ මන්දිර විමසා බැලීමේදී ඒ සියල්ල අභිබවන සුළු දුර්ලභ, එහෙත් රමණීය ආකෘතියකින් මෙම පිළිමගෙය නිමැවීමට රජතුමා උත්සුක වූ බවක් පෙනෙයි.
පොළොන්නරු රාජධානිය තුළ ආලාහණ නමින් පිරිවෙනක් දක්නට ලැබේ. මෙම ආලාහණ පිරිවෙනට අයත් බුදු මැදුර ලංකා තිලක විහාරය බව මහාචාර්ය චන්ද්‍රවික්‍රම ගමගේ මහතා පවසයි. පිළිම ගෘහය නිමවා ඇත්තේ ගඩොලින් වන අතර පියසද ගඩොලින්ම වෘත්තාකාර ආකාරයට නිමවා ඇති නිසා එය ගෙඩිගේ සම්ප්‍රදායට අයත්ය.
මෙය මහා පරාක්‍රමබාහු රජතුමා කරවු විශාලතම පිළිම ගෙය වශයෙන් සැළකෙයි. ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය යන කොටස් තුනකින් යුතු පිළිම ගෙයි හිටි බුදු පිළිමය අඩි 42 ක් පමණ දැවැන්ත උසකින් යුතුය. බුද්ධ ප්‍රතිමාව දීර්ඝ කාල වකවානුවක විපත් මැද නටබුන් ආකාරයකින් දිස් වෙයි. පිළිමයේ අත් යුගලයෙහි බොහෝ කොටස් විනාශ වී ඇත. මුව කමල දකින්නට නොලැබේ. එහෙත් පිළිමයක හැඩතල ඡායා පමණක් දකින්නට ලැබේ. 1906 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඡායාරූපයක මුහුණෙහි කොටසක් දකින්නට පුළුවන් කම තිබුණි. මේ ප්‍රතිමා ගෘහයේ අභ්‍යන්තරය කොටස අඩි 26 ක දිගකින්ද අඩි 13.6 ක පළලකින්ද යුක්තය.
මෙහි ආකෘතිය වෙනස් වන්නේ එය දැවැන්ත උසකින් අඩු පළලකින් සහ වැඩි දිගකින් නිර්මාණය කර ඇති නිසාය. ඒ නිසාම මෙයට ගාම්භීර ප්‍රෞඩ පෙනුමකින් ආරෝපණය වී තිබෙයි. හතරැස් පැතිකඩ සහිත හිසකින් යුතු ගල්කණු දෙපස සරසන අතර එක් පසෙක කුලුනු 17 ක් දකින්නට ලැබෙයි. එ මත දැවයෙන් නිර්මිත ඉහළ මාලය පිහිටා තිබෙන්නට ඇත. මෙය මහල් පහකින් සමන්විතව තිබු බව කියැවෙයි. ප්‍රතිමා ගෘහය රූකම් වලින් අලංකෘතව තිබු බව සනාථ කරන ලකුණු අදද යන්තමින් හෝ දැක ගැනීමට ලැබෙයි.

ඉදිරිපස හංස සහ සිංහ රූප වලින් හැඩ වී තිබෙයි. මෙහි විශේෂයක් වන්නේ මේ දැවැන්ත උස් ප්‍රතිමා ගෘහයට ඇතුළු වීමේදීම ඒ සා විශාල උසකින් යුතු වූ ප්‍රතිමා වහන්සේ එක එල්ලේ දැක ගැනීමට පුළුවන් වීමය. මෙම උස් ස්වභාවය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන මිනිසාගේ ගෞරවය වඩාත් ඉස්මතු කරවන සුළුය. එහි ගාම්භීර පෙනුම මිනිස් සන්තානයේ ඇති කරවන හැඟීම වෙනත් බුදු මැදුරකදී දැනෙන හැඟීමට වඩා වෙනස් ස්වරූපයක් ඇතිකරවන සුළුය.
ලංකාතිලක පිළිම ගෘහයෙහි ඉදිරියෙන් දෙපසින් ඇති බහු කෝණික කුලුනු දෙක වඩාත් සුරක්ෂිතව පවතින අතර එකක උස අඩි 58 ක් පමණ වෙයි. අදත් එහි දැවැන්ත බවෙහි අඩුවක් නොවූවද ආරම්භයේදී මෙහි උස අඩි 100 කටත් වඩා තිබූ බව පුරා විද්‍යාඥයන්ගේ අදහසයි. මෙම පිළිම ගෘහයෙහි තවත් විශේෂිත වැදගත්කමක් ද වෙයි. එනම් එය ආලාහණ පිරිවෙනෙහි කේන්ද්‍රීය ස්මාරකයයි. අනුරාධපුර යුගයේදී ඒ ස්ථානය ලැබුණේ ස්තූපයටය. මෙම වෙනසට හේතුව කුමක් දැයි තවමත් නිශ්චිත නැති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි. ඒ පිළිබඳව එතුමා තවදුරටත් මෙසේ පවසති.
“බෞද්ධ ඉතිහාසයට අනුව සධාතුක ස්තූපය ප්‍රධාන පූජනීය ගොඩනැගිල්ලයි. දෙවන තැන බෝධිය සහිත ගෘහයටත්, තෙවන තැන බුදුමැදුරටත් හිමිය. පොළොන්නරු යුගය වන විට කලින් තුන්වන තැන හිමිව තිබුණු බුදුමැදුර ප්‍රධාන තැනට පත් වූ බවත් ලංකා තිලකයෙන් සනාථ වෙයි”


මෙම පිළිමගෙයි ප්‍රධාන දොරටුව ඇත්තේ නැගෙනහිර දිශාවට මුහුණලාය. තවදුරටත් මහාචාර්යතුමා පවසන්නේ “එහි මුරගල්වල අල්ප උන්නත ලෙස කැටයම් කර ඇත්තේ නැඟෙනහිර දිසාවට අධිපති ධෘතරාෂ්ට්‍ර මහා රාජාගේ රූපයයි. කොරවක්ගල්වල ඇතුළු පැතිවල පද්මය මත සිටින කාන්තාව ධෘතරාෂ්ට්‍රගේ භාර්යාවයි. ඇය දෙපස පරිවාර කාන්තා රූප දෙක බැගින් වෙයි. ධෘතරාෂ්ට්‍ර මෙන් ඔහුගේ භාර්යාවද අතකින් පුන්කළස සහ අනෙක් අතින් මල් ඉත්ත ගෙන මල් ඉත්ත සහිත අත කටියෙහි රඳවා ගෙන සිටියි. ඇයගේ ඉරියව්ව මුරගල්වල ධෘතරාෂ්ට්‍රගේ මෙන් ත්‍රිභංග වර්ගයට අයත්ය” .මෙයින් පෙනෙන්නේ මේ අපූර්වත්වයෙන් යුතු විහාර මන්දිරය මෙන්ම කැටයම් චිත්‍රාදියද විශේෂිත මෙන්ම වෙනස් ස්වරූපයකින් නිර්මාණය කර ඇති බවකි. මෙහි චිත්‍ර හා ප්‍රතිමාදියේ දකින්නට ලැබෙන්නේ දක්ෂිණ භාරතීය කලා සම්ප්‍රදායට සමීප වූ ලක්ෂණයක් බව ඇතැම් වියතුන්ගේ අදහස වී තිබේ.
එසේම ලංකාතිලක විහාර මන්දිරයේ තවත් සුවිශේෂීතාවයක් අපට හඳුනා ගැනීමට පුළුවන. එනම් එහි ප්‍රදක්ෂිණාපථයයි.
අනුරාධපුර යුගයේදී මෙම ප්‍රදක්ෂිණාපථය අත්‍යවශ්‍ය අංගයක්ව පැවැති බව ඒ යුගයේ නිර්මාණ විමසීමේදි පෙනී යයි. එය සැකසී තිබුණේ බිම් මට්ටමේය. එහෙත් පොළොන්නරු යුගයේදී ඉහළින්ද ප්‍රදක්ෂිණා පථයක් තිබූ බව ලංකාතිලක පිළිම ගෘහයෙන් අනාවරණය වෙයි.
ප්‍රතිමා ගෘහයේ දකුණූ පැත්තේ ඇති කොරවක්ගලෙහි ඇතුළු පැත්තේ ඇති ශිලා ලේඛනය අනුව මෙම ස්මාරකය සිව්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1270-1272) විසින් ප්‍රතිසංස්කරණය කළ බව සඳහන්ව තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කල පොළොන්නරුවේ ලංකාතිලකය අසාමාන්‍ය අසහාය අපූර්වතා ප්‍රකට කරනා රමණීය ප්‍රතිමා ගෘහයකි.
අහස උසට නැගෙන කීවිට එතනින් එහාට එන වදන ස්තූපය නැතිනම් චෛත්‍යය ලෙස අප හඳුනාගෙන සිටිමු. එහෙත් අහස උසට නැගි ලංකාතිලක විහාරය වෙනස් ආකෘතියකින් වෙනස් කලා සම්ප්‍රදායකින් ඉදිකර තිබේ. එය අදටත් විහාර නිර්මාණ කලාවේ නැවුම් වූ අත්දැකීමකි.
විශිෂ්ට රජවරු තම බල පරාක්‍රමය මෙන්ම තම නාමය රඳවා තබා ගැනීම වෙනුවෙන් බහුතරයක් ඉදි කෙරුවේ ස්තූපයන්ය. එහෙත් ලාංකේය රාජ වංශයේ පැහැදුල් නමක් රැන්දූ මහා පරාක්‍රමබාහු රජතුමා ස්තූපයේ උසට අභියෝග කරමින් එවන් උස් බව ජය ගැනීම උදෙසා කළ ලංකාතිලක පිළිම ගෙය එතුමාගේ මනස පිළිසිඳගත් විප්ලවීය චින්තනයේ අපූර්ව ගුණය පසක් කරවන සුළු සදාතනික සැමරුමකි.
නව විද්‍යා තාක්ෂණයේ අභියෝග ජයගත් නූතන මිනිසාද විමතියට පත්කරවන සුළු මෙවන් නිර්මාණයක් සදාතනික සිහිවටනයක් වන්නේ මතු පරපුරටද සිතන්නට බොහෝ දේ මේ ඉතිරි වී ඇති සැකිල්ල මත තවමත් රඳවාගෙන සිටිනා බැවිනි.
විශ්මයද ගාම්භීරත්වයද සුන්දරත්වයද ඒ සියල්ල පරදන සද්ධාසම්ප්‍රයුක්ත ගෞරව බහුමානයද එකට එකතු කළ විශිෂ්ටත්වයේ ස්මාරකයක් වූ ලංකාතිලකය ලක් මාතාවගේ නළලත තැබූ තිලකයක් සේ යැයි සිතෙයි.




0

බුද්ධංගල වන සෙනසුන


එදා මේ ගල්තලාව කසාවතින් බැබළෙද්දී සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගුවන් ගැබ සිසාරා ගියේ ඓතිහාසික උරුමයන්ගෙන් ගහන නමින් බුද්ධංගල තපෝවනයෙහි මහිමය හඬ ගා ලොවට කියන්නාක් මෙන්ය. ඒ මෙයින් ශත වර්ෂ 20 කට පෙර අහිංසක සතා සිවුපාවුන්ට අභය භූමියක්ව, තුරු ලතාවන්ගෙන් ගහණ වූ සිත්කලු බිම් පෙදෙසක්ව, නිර්වාණගාමි මගට පිළිපන් සුසිල්වත් මහණුන්ගේ මන දොළ පිනවන බිමක් වශයෙනි. එය එසේ විය නොහැකි යැයි මෙම පුදබිම දුටු කිසිවකු නොසිතනු ඇත. වීතරාගීන්ගේ සිත් අලවන බිම් පියස කෙලෙස් හරිත වූවන්ගේ හද නොබැඳගන්නා බව බුද්ධ වචනයෙන්ද ප්‍රකාශිතය.
රත්තරන් පාටට රූරා වැටුණු නෑඹුල් අරුණලු ඈතින් ඈතට විහිදුනු වන අරණ අතරින් නැගී සිටි තුමුල ගිරි හිස් නහවමින් සිව් පර්වත පන්තියක් සේ දිස්වන මේ ගිරිකුලු තද බැවුම් සහිත කපොලුවලින් වෙන්ව තිබේ. එසේ හෙයින් වැසි කාලයේ ගල් මතින් ඇදහැළෙන දියදහරාවන් රිදී දිය ඇලි සේ කඩා හැලීම වූ කලී දුන්හිද සිහියට නැගෙනු ඇත. තැන තැන දිය ආරවුල්, දිය කෙම් පිරී ඉතිරෙන වැසි සමය තුළ සිය ගණනක් ඒ සතා සිවුපාවුන්ගෙන් වන අරණෙහිදී කිසිවකුට හිරිහැරයක් නොවීම ඉමහත් අසිරියකි. බුදුගුණ බලයකි. වැසි සමයේ මෙන් වියළි සමයේද සුවදායක සිසිලසකින් යුත් මෙහි ඕනෑම විඩාපත් වූවෙකුට ගතට සිතට ලබා දෙන සැනසිල්ල බුදුගුණයෙන් මුසුවී තිබීම ඉමහත් අසිරියකි. එහි එක් ගිරි හිසෙක සුදෝ සුදු පැහැයෙන් බබළන බුද්ධ ප්‍රමුඛ අගසව් දා නිදහිත චෛතයකි. ඊට මදක් ඔබ්බෙන් ගල් පව්ව මත හුදකලාව වැඩහිඳින බෝ රදුන් දිස් වේ. මනා කොට සැකසුනු බැම්මකින් යුත් මළුවක් ඊට රැකවරණය සපයයි. යෝධ ගල් කුලු අතරින් උතුරට විහිදී යන මව් ගල්තලා රැස මත පෞරාණික ඉදිකිරීම් රැසක නටබුන් ගොන්න අසිරිමත් අතීතයක සොඳුරු යටගියාව කියා පාන්නක් මෙන් නිහඩව සිටී.
එහි වූ උස්ම ගිරි ශිඛරය තරණය කරවුවෙකුට නෙත් මානයේ මැවෙමින් තිබෙන්නේ නෙත් සිත් පිනවාලන අපූරු දර්ශනයකි. මීට වර්ෂ 50 කට පෙර මායා රංජන නම් වූ සහෘද ලේඛකයා දුටු දිගාමඬුලු අසිරියෙන් ඉතිරිව ඇත්තේ නම් මෙම වන අරණෙහි බව එහි ගිය විට සිතනු නිසැකය. පසුබිමින් හරිත තුරුපත් අතරින් මුලු ගල්ඔය මිටියාවත එකට කැටි වී ඇත. ඈත දකුණින් කල්මුන සමන්තූර ඔබ්බට දිවෙන ක්ෂිතිජය වේ.
ක්ෂිතිජය දක්වා හෙළ රජ දරුවන් විසින් අමුණු කෝටියක් පමණ වපසරිය වගා කළ ඒ සරුසාර කෙත් බිම අපේ නරවිරුවන්ගේ දස්කම් විස්කම් මොනවට විදහා දක්වයි.
උතුරු දෙසට වන්නට ගල්ඔය ව්‍යාපාරයෙන් ජනාවාස වූ ජනපද ද ඉන් ඔබ්බෙහි රාස්සහෙළ කඳුවැටිය දක්වා විහිදී යයි. හෙළයේ අසිරිමත් හැදියාවට මුල පිරූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ධාතු නිදන් කොට ඉදිකළ අතීත ගිරිකුම්හිල වෙහෙර සහිත රජගලද පියංගල, සමංගල වැනි වන අරණයන් වේ. දකුණු දෙසින් සම්බුදු සිරිපා පහසින් සුපිරිසුදු වූ ඓතිහාසින දීඝවාපී සෑ රදුන් වහන්සේ ය. බටහිරින් ඉගිනියාගල, වඩිනාගල හා ගෝවින්ද පබ්බතය පෙනේ. අතීතයේ පොළොන්නරුවේ සිටි ආක්‍රමණික කාලිංග මාඝට රුහුණු රාජ්‍යයට ඇතුල්වීමට නොදෙන ආරක්ෂක බලකොටුව වූයේ එයයි. එහි බුවනෙකබාහු නම් ඈපාණ කෙනෙකුන් වූ බව වංශ කථාකරු කියයි.
දිගාමඩුලු අසිරියෙහි යුග කීපයක් දැකුමට යායුතු එකම ස්ථානය නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. ලංකා සිතියමේ පෙරදිගරට අම්පාර නම් දිසාවෙහි (දිගාමඩුලු දිස්ත්‍රික්කයේ) වැව්ගම්පත්තුව උතුරුප්‍රාදේශීය ආදායම් කොට්ඨාසයෙහි අම්පාර වසමේ අක්කර දහස් ගණනක් පුරා වනරජ දහනකින් ගිරිශිඛරයන් සහිත යෝගාවචරයින්ගේ ක්ෂේම භූමියක් වූවකි. එහි ළඟා විය හැක්කේ අම්පාර පොදු සුසාන භූ®මිය මැදින් දිවෙන කෙටි කාපට් පාරකිනි.
මෙවන් පුණ්‍යභූමියක් කරා දිවෙන කාගේ වුවද ගත සිත බුද්ධාලම්භන පී‍්‍රතියෙන් නැහැවෙනු නිසැකැය. ඒ එහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය නිසාවෙනි. මෙම වන අරණ ක්‍රි. පූ. 2 – 3 සියවස්වලට අයත් වූ ඛීණාශ්‍රවයන් වහන්සේලා සිය ගණනින් වැඩසිටි සෙනසුනකි. අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ තම ජාතභූමිය වූ වේදිසාවේ සාංචි ස්තූපයෙහි තැන්පත් ශාරිපුත්‍ර- මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක ධාතූ®න් වහන්සේලා වඩමවා සර්වඥ ධාතුන් වහන්සේලා සමඟ එකම රන් කරඬුවක තැන්පත් කරවමින් මෙහි වටදාගෙයක තැන්පත් කරවූ බව පුරාවිද්‍යා මතයයි. ගිරිතුම්හිල විහාරයේ අභිලේඛනගත ශාක්ෂිය හා චිත්‍රා ලෙන යැයි නම් ලත් මෙම අරණෙහි ප්‍රධාන ගල් ලෙනෙහි වූ ශිලා ලිපිය එහිලා සාධක වන බව පුරාවිද්‍යා චක්‍රවර්ති ගරු එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
උසින් අඟල් හතරක් පමණ රන් කරඬුවෙන් නෙළුම් මල් තුනකි. උස් නෙළුම් මලෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමකි. දකුණු පසෙන් නෙළුම් මලෙහි පාත්‍රයෙහි ශාරිපුත්ත මහරහතන් වහන්සේගේද වම් පසින් කුඩාම නෙළුම් මලෙහි මුගලන් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටිති. එම ධාතු සහිත පාත්‍ර වැසීමට විධානයන් තුනක්ද එහි බෝපත්‍රවල ශාරිපුත්ත – මහා මොගලන යැයි ක්‍රි. පූ.1.2 ශතවර්ෂයට අයත් අක්ෂර වෙයි. මියදෙන්න දෙසතියකට පෙර පුරාවිද්‍යා මහැදුරූ සෙනරත් පරණවිතාරණයන් උක්ත පාඨය පිණිස මෙහි මොනවට සාක්ෂි දරයි.
මෙවන් නිර්මාණාත්මක කලාත්මක වූ කරඬුවක් බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ලංකාවේ කිසිතැනකින් හමු නොවූ බව පුරා විද්‍යා සක්විති තිරාණගම රතනසාර හිමියෝද අග්නිදිග ආසියාවෙන්ම හමු නොවූ බව පුරාවිද්‍යා සක්විති එල්ලාවල මේධානන්ද නාහිමියෝ, මහැදුරු ඉඳුරුවේ උත්තරානන්ද හිමියෝ, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නයෝ කියති.
මෙම පුදබිම පුරා විහිදා ඇති පෞරාණික වස්තූ®න් තුළින් අපේ උරුමය මොනවට කියාපායි. අනුරාධපුර යුගයෙහිලා සඳකඩපහන්, මලසුන්, කොරවක් ගල් අභිලේඛණ සහිත ගල් ලෙන්, කොත් කැරලි, නිදන් වස්තූ, ඉපැරණි පොකුණු ශිලාමය නිර්මාණයන් තුළින් එදා නික්ලේෂි මහරහතුන්ගේ සිය ගණනින්, බැතිබර උවසු උවැසියෝ දහස් ගණනින් මෙම බුද්ධ ප්‍රමුඛ අගසව් ධාතු සහිත බුද්ධංගල බුදුගෙය වන්දනා කරන්නට ඇද්දැයි එහි ලඟාවූවන්ට මැවී පෙනෙනු නියතය.
ගල්ඔය ව්‍යාපාරය යටතේ ඓතිහාසික දිගාමඩුල්ල අම්පාර දිස්ත්‍රික්කය වශයෙන් එළි පෙහෙළිවත්ම වනවැදී සැඟවී සිටි බුද්ධංගල වන සෙනසුන එකලු කළ, බුදුගුණ රැස් පැතිර දන හදට සමීපකරන පහන් ටැඹක් බවට පත්කරනු ලැබුවේ කලුතර ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ හා බටයායේ අරියවංශ හිමිපාණන් වහන්සේය. උන්වහන්සේලා පිළිබඳ මා සිත්හි ඇත්තේ බුද්ධංගල වසාගෙන නැගෙන මනුෂ්‍යත්වය අබිබවා දේවත්වයට පත් අසිරිමත් පුද්ගලයන් දෙදෙනෙකුගේ පිළිබඳ වූ ප්‍රතිරූපයකි.
1964 වර්ෂයේ දඩමස් වේලන්නන්ගේ කෙම් භූමියක්ව පැවති මගක් තොටක් නොමැතිව ජලය බිඳක්වත් නොමැති රූක්ෂ තුරු ලතාවන්ගෙන් යුත් මෙම වන දහනේ සතා සිව්පාවන්ගෙන් කිසිදු හිංසාවකින් තොරව එක වේලක් පමණ දන් වළඳමින් සැතපුම් හතරක් පහක් ජලය හා පිණ්ඩපාතේ සඳහා වඩිමින් ආදි කර්තෘභූත හිමිවරුන් විඳී නේක හිරිහැර වෙනම ඉතිහාස කතාවක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වටී. බුද්ධංගල නාහිමියන් ප්‍රදේශයේ සිංහල අසිංහල බලධාරීන් සමඟ ගැටී ඔවුන්ගේ සහාය ලබා ගෙන බුද්ධංගල ගොඩනැඟු අයුරු බුදුපුතකුගේ අප්‍රතිහත ධෛර්යය ගැන කියවන බණ කතාවක නොමැති කථාවක් වැනිය. මෙම වන අරණෙහි බුදු ගුණ රැස් දහරින් නැහැවුණු හදවත් වලට ලැබුණු නිර්මල ධර්මාවවාදයක් අමා වැස්සක් සේ අදට වයෝවෘද්ධ උවසු උවැසියන් දහස් ගණනකගේ ධර්ම පිපාසය සංසිදුවයි. මග නොදැන අයාලේ යමින් ආමිසත්වයට ලොල් වූ ජනපදවැසි හුදී ජනයාට ධර්ම මාර්ගය කුමක්දැයි හෙළිකරදීම බුද්ධංගලින් සිදු වූ ප්‍රධාන කාර්යකි. ආගමික වශයෙන් පමණකුදු නොව දිගාමඩුල්ල තුළ යම් කිසි සිංහල ප්‍රබෝධයක් වේ නම් එහිලා බුද්ධංගල නාහිමියන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන වග කිවයුතු නොවේ. 1972 වර්ෂයේ දී වත්මන් චෛත්‍ය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදු කරද්දී ඉහතකී දා කරඬුව හමු වීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානතම සාධකය විය. එතෙක් මෙතෙක් කොතෙක් ත්‍රස්තවාදී උවදුරු අගහිඟකම් තිබුණ ද දිඟාමඩුලු පුරවරයේ බෞද්ධ ආගමික ප්‍රධාන පුන්‍ය මහෝත්සවයක් වශයෙන් වාර්ෂික පොසොන් මහා පින්කම සිදු කරනු ලැබේ.
බුද්ධංගල නිර්මාතෘවර අප ලොකු ස්වාමීන් වහන්සේ දැනට දෙමසකට පෙර අපවත් වී වදාළ, උන් වහන්සේගේ සුවච කීකරු සිසු දරුවන් හා කෘතවේදී දායක පිරිස වශයෙන් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා සැමගේ සහයෝගය අත්‍යවශ්‍යය.
අති ගරු වර්තමාන සේනාධිපතින් වහන්සේ ද බොදුනුවන්ගේ බැතිබර හදවත් ප්‍රබෝධ කර ධර්ම මාර්ගයට අනුගත කරවීම පිණිස ධාතු ගර්භය අසළ දර්ශනීය ධාතු මණ්ඩපයක් කරවා ඒ මතට ධාතු ගර්භයෙන් ධාතු කරඬුව වැඩමවා ප්‍රදර්ශනය කරවීම දිගාමඩුල්ලට පමණක් නොව මුලු දෙරණටම බුදු ගුණ රැස් දහරින් නැහැවීමට හේතුවනු නියතය. මෙවරද ජූනි මස 12, 13, 14 යන තෙදින තුළ සුපුරුදු පරිදි ඒ අග්‍රගණ්‍ය දැකීමට දුෂ්කර වූ බුද්ධ ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට ද එයට සමගාමීව ශීල, භාවනා, ධර්ම දේශනා, දන්සැල්, පරිත්‍රාණ ධර්ම දේශනා ද පැවැත්වෙයි. මේ තුළින් ශ්‍රීමත් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට , ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් බලකායට, රට වැසියන්ට සැනසිල්ල සෞභාග්‍ය පැතීමත් ලෝ සසුන් සුරකින දෙවියන්ට මියගිය දායක කාරකාදීනට පුණ්‍යානුමෝදනා කිරීම කරනු ලැබේ.
සේනාසනාධිපතීන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යෙන්, රාජ්‍යානුග්‍රහයෙන්, සැදැහැවතුන්ගේ නොමසුරු ආධාර උපකාරිත්වයෙන් ආරණ්‍ය සාධක සමිතිය මගින් පොසොන් මහා පින්කම සිද්ධ කිරීමට අපේ්ක්ෂා කරයි. ඒ තුළින් ජනයාගේ බුදු බැතිය වර්ධනය වී ධර්මයෙන් සැනසීමට පත්වන්නේ නම් අපගේ ප්‍රයත්නය මල් ඵල ගැන්වෙනු ඇත.
ජීවිතය වූ කලී කාව්‍යයක් නොවන බව සැබෑය. එහෙත් එහි නොසියුම් පදවැල් අතරින් මතුවන රිද්ම රටා පහන් වූ සිත් පත්ලේ වචනයෙන් නැගිය නොහැකි සොඳුරු සංවේදයකින් මැවෙයි. ඒ සංවේදය ඔබ ගතින් සිතින් විඳ දරා ලන්නට නම් මෙවන් පුදබිම් නෙතින් ස්පර්ශ කළ යුතුය. එයින් උපන් පහන් සංවේගය ඔබගේ ජීවිත ගමන් එක්තරා අයුරකින් පුනරාවලෝකනය කරනු ලබන කාව්‍යයක්, ආදර්ශයක් කර ගැනීමට සුදුසු තම අවස්ථාවයි මේ උදාවන්නේ . එයින් ඔබට දිවි ගමනේ සදොස් තැන් නිදොස් කරගෙන සුසීලත්වයේ සංකේතයක්ව ධර්මය සයුරෙහි ජීවිතය නමැති නෞකාවෙන් විමුක්ති සුවය නම් පරම ක්ෂේම භූමියට ළඟා වීමට මෙම අසිරිමත් අගසව් දා සිරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනය ඉවහල් කර ගනිමු. එයින් ජීවිතය එක්තරා දුරකට සොඳුරු කාව්‍යයක් කර ගනිමු.
0

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පාන විහාරස්ථානයකි. කැලණි ආසනයේ පිහිටි හුණුපිටිය ගම ග්‍රාම සේවා වසම් 5ක් සහිත විශාල ගමකි. වර්තමානයේ මෙම ගම වටා විහාරස්ථාන කීපයක්ම තිබේ. ඒ අතරින් ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මා හිමි අනුස්මරණ දෙමහල් ධර්ම මන්දිරය


ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලා මන්දිරය

අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ඉපැරැණි බෝධින් වහන්සේ
ඈත අතීතයේදී ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානය සඳහා සිය ඉඩම් දේපළ පූජා කරන ලද්දේ බී.කොරනේලිස් ප්‍රනාන්දු වෙද මහතා විසිනි. මෙම විහාරස්ථානය ඉපැරැණි මහනුවර යුගයට අයත් විහාර මන්දිරය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2005 ජූලි මාසයේදී පැරැණි විහාර මන්දිරය නිමවා ඇති පිළිම වහන්සේලා සහ බිතු සිතුවම් සහිත විහාර ගෘහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට පිළිසකර කරදෙන ලදී. එසේම මෙම විහාරස්ථානය සතුව තිබෙන ඉපැරැණි ධර්ම ශාලාව ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එසේම එය මෑතකදී ඉතා අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී. 2003 වර්ෂයේදී ඉදි කරනු ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරන ලද්දේ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේ විසිනි.
1874 ආරම්භ කරන ලද විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව විසින් විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. කැලණිය කලාපයේ පැරණිතම දහම් පාසල වන ශ්‍රී ධර්මාශෝක දහම්පාසල 1933 වසරේදී ආරම්භ කරන ලදී. අතීතයේ සිටම මෙම දහම්පාසලෙන් රටට දායාද කළ උගත් බුද්ධිමතුන් පිරිස් අද සමාජයේ උසස් තලයක වැජඹේ. 1987 දී ශී‍්‍ර විජය පෙර පාසල ආරම්භ කළේ අපේ බෞද්ධ දරුවන් ඉතාම කුඩා කාලයේ සිටම බෞද්ධ පරිසරයක හැසිරිය යුතු අන්දම නගා සිටුවීම සුදුසු යැයි කල්පනා කළ නිසාය. එය ඉතාමත් සාර්ථක ලෙස අද ප්‍රදේශයේ හොඳම පෙර පාසලක් බවට පත්වී තිබේ. එහි අන්‍ය ජාතික දරුවන් පවා අධ්‍යාපනය ලබන බව සඳහන් කරන්නේ අභිමානයෙනි. 1988 දී ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුබද්ධ කාර්මික විද්‍යාලයක් ලෙස හේමානන්ද කාර්මික විද්‍යාලය ආරම්භ කරන්නට අවස්ථාව උදා කරගත්තේය. අද මෙම කාර්මික විද්‍යාලය කැලණි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙසට වෘත්තීය පුහුණූ අධිකාරිය යටතේ කාර්මික පුහුණු පාඨමාලා උගන්වන සාර්ථක මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.
අනාගතයේදී ශිෂ්‍ය භික්ෂු පරපුරක් දැයට දායාද කරලීම අරමුණ ඇතිව ශිෂ්‍ය භික්ෂූන්ට නැවතී අධ්‍යාපන කටයුතු කිරීමට සියලු පහසුකම් සහිත නව සංඝාවාස ගොඩනැගිල්ලක් මෑතකදී ඉදි කර අවසන් කරනලදී.
මෙම පූජනීය විහාරස්ථානයේ 1956 වසර දක්වා සතර දිගින් වඩින මහා සංඝ රත්නය වැඩ වාසය කළ අතර, 1956 සිට කොස්ගොඩ දේවානන්ද මා හිමිපාණන් විහාරාධිපතින් වහන්සේ ලෙස බෞද්ධාරක්ෂක සභාව මගින් පත් කර ගන්නා ලදී. උන්වහන්සේ 1977 අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වලවෙල සෝමසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූ අතර විහාරස්ථානයේ සංවර්ධනයට විශාල මෙහෙවරක් කරන ලදී. උන් වහන්සේ 1983 අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ අති විශාල නවෝදයක් ඇති වූයේ වලවෙල සෝමසිරි හිමිපාණන්ගේ ශිෂ්‍ය වලවෙල හේමානන්ද නා හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වීමත් සමගය.
වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2003 වසරේ ජනවාරි මස 01 දින අඛණ්ඩව දිනපතා බෝධි පූජා පින්කම් හා සෙත් පිරිත් සජ්ඣායනයන් සිදු කරනු ලබන අතර එබැවින් විහාරස්ථානය නිතරම සැදැහැවතුන් ගැවසෙන පූජනීය ස්ථානයක් බවට පත්වී තිබේ. සියලුම දායක දායිකාවන් සිහිකර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමටත් එසේම විහාරස්ථානයේ වැඩ වාසය කර අපවත් වී වදාළ සියලු නායක ස්වාමින් වහන්සේලා සිහි කර ගුණානුස්මරණ පින්කම් මාලාවක් 1986 සිට කඨින පින්කම් සිදු කරන හැම වර්ෂයකම ඊට සමගාමීව සිදු කරනු ලබයි. මෙම නිසා දෛනිකව සිදු කරන ජාතික ආගමික කාර්යයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය පත්ව ඇත.

[උපුටා ගැනීම - බුදු සරණ-2014.09.02]
0

ගල්බඩ සුනන්දාරාම පුරාණ විහාරය





ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.

ගල්බඩ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍ය රන්සෑගොඩ කීර්ති ශ්‍රී තේජෝවර ධර්මදර්ශී හිමියන් ගල්බඩ විහාරය ආරම්භ කර තිබේ. නායිමන සුනන්ද හිමියන් 1862 විහාරාධිපතිත්වයට පත් වීමෙන් පසු විහාරය ‘සිරි සුනන්දාරාමය’ ලෙස නම් විය. උන්වහන්සේගෙන් පසු අපරැක්කේ සුමංගල හිමියන් ද, පසුව ශිෂ්‍ය වර පරවාහැර දේවානන්ද නාහිමියෝ ද විහාරාධිපතිත්වයට පත් වූහ.

සුනන්දාරාමය කලාගාරයක් කළේ උන්වහන්සේය. උන්වහන්සේගේ කලාත්මිකතාව යුග ගණනාවකට ඉතිරි කළ බව අපට හැෙඟ්. කැලණිය, දඹුල්ල, රිදී විහාරය ආදී විහාර සිතුවම් ලාංකීය සිතුවම් කලාවේ මුදුන් මල්කඩ වන් තැන් වෙයි. නමුත් ගල්බඩ සුනන්දාරාමයට පැමිණ බැලූවොත් එය ඊට දෙවැනි නොවේ.

ගල්බඩ සුනන්දාරාම විහාරාධිපති අපරැුක්කේ ධම්මානන්ද නායක හාමුදුරුවන් මම හමු වීමි.

‘කැලේට පායපු හඳක් වගේ නේද?’ ඒ වචන කීපය තුළ අර්ථය බොහෝ ගැඹුරු විය. වටිනාකම, සුන්දරත්වය දකින්නට, බලන්නට ඉන්නේ ගමේ උදවිය පමණකි. නියම වටිනාකම රටට ගොස් නැත.

විහාරය බොදු කලාගාරයක සිරි ගත්තේ කෙසේ ද යන්න මම පළමුව විමසීමි.‘පරවාහැර දේවානන්ද නායක හාමුදුරුවො 1946 අවුරුද්දෙදි විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කළා. ඊට පෙර කුඩා විහාර මන්දිරය තිබුණා. එය නුවර යුගයට අයිතියි. තවමත් නුවර යුගයේ චිත‍්‍ර, සමාධි බුද්ධ ප‍්‍රතිමාව උසස් අයුරින් ආරක්‍ෂා වෙලා තියෙනවා. එම විහාර මන්දිරයත් ඇතුළත් කොට අලූත් විහාර මන්දිරයේ සැලසුම ඇන්දා නායක හැමුදුරුවන්ගේ අනුශාසනා මත වැලිගම සමාරිස් සිල්වා කියලා කෙනෙක්. ඒ අනුව තමයි මේ දර්ශනීය විහාර මන්දිරය ඉදි වුණේ. ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම පැතිකඩක් තමයි මේ. මෙවැනි විහාර මන්දිරයක් මා තවම දැකලා නෑ. වැලිතර පන්සලේ විහාර මන්දිරය මීට සමානකමක් තියෙනවා. හේතුව එකම ගෘහ නිර්මාණ ශිල්පියා වීම නිසා. ඇතුළෙ මාලයේ සිතුවම් ඇන්දෙ නුවරින් බාස් කෙනෙක් ඇවිත්. නව විහාර මන්දිරයේ බුද්ධ ප‍්‍රතිමාව සහ ආසනය, පසුබිම හරිම විශේෂයි. රන්සිවිගෙය, දම්සභා මණ්ඩපයේ වැඩ සිටින විදිහට තමයි ගොඩ නගලා තියෙන්නෙ. හරිම සියුම් චිත‍්‍ර කලාවකින් හැඩ වැඩ දමලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ ඥාති පිරිසක් ගල්බඩ හිටියා. එයා ඉඳහිට මෙහෙ යනවා එනවා. දවසක් පන්සලට ඇවිත් අලූත් විහාර මන්දිරය පුරා ඇවිද්දා. එයා මෙතැන විශේෂත්වය දැක්කා. ඊට පස්සෙ දේවානන්ද නායක හාමුදුරුවො මුණ ගැහුණා.
”හාමුදුරුවනේ මේ විහාර මන්දිරයේ එක එක්කෙනා ලවා චිත‍්‍ර අන්දන්න එපා. මෙතන අඳින්න සුදුසුම කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ගම්පොළ. ගිහින් කතා කරලා බලන්න. එයා ඇඳපු විහාරයකුත් තියෙනවා. එතනටත් ගිහින් බලන්න.

”ඒ අනුව ටික දවසකට පස්සෙ අප ගම්පොළ ගියා. අප මුලින්ම ගියේ චිත‍්‍ර ශිල්පියාගේ සිතුවම් තියෙන ගිරාඋල්ල පන්සලට. එදා රෑ දේවානන්ද නායක හාමුදුරුවොයි, මමයි ඒ පන්සලේ නැවතිලා ඉඳලා පසුවදා ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක චිත‍්‍ර ශිල්පියාගෙ ගෙදරට ගියා.”ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවො එක්ක ආ නිසාත් දුර බැහැරක සිට හොයාගෙන ආ නිසාත් මානවසිංහ මහත්තයා මිත‍්‍රයෙක් නිසාත් බෑ කියන්නෙ කොහොම දැයි චිත‍්‍ර ශිල්පියා කිව්වා.



”ඒ අනුව 1957 අවුරුද්දෙදි චිත‍්‍ර කර්මාන්තය ආරම්භ කළා. චිත‍්‍ර ශිල්පියා ගම්පොළ ගොඩපොළ රාජකරුණා විජේසිංහ මහත්මා. විහාර ගෙයි සිතුවම් අඳින්න අවුරුදු පහක් ගත වුණා.”

ගල්බඩ සිරි සුනන්දාරාම විහාර මන්දිරයේ සිතුවම් අතර ලතා මණ්ඩප, මකර සෝපාන, ඇත් පෙරහර, දෙව් විමන්, බහිරව රූප, නාරිලතා, සිංහ, ගජ, හංස, මකර ආදී සත්ත්ව රූප, හංස පූට්ටු, භද්‍රගට, ගජසිංහ, නරසිංහ, නෙළුම් මල් ආදී පුෂ්පාලංකරණ, සප්ත නාරි පල්ලැක්කිය, නාරි රථය, ෂට්නාරි වළල්ල, චතුර්
නාරි ස්වස්තිකය, මුගුරු පොරය, කඩු හරඹ, මල්ලව ලී කෙළිය, නාරි පූට්ටුව, ලිය වැල්, බෝඩර, මුතු වැල්, සෝමන්, නෙළුම් මල් මෝස්තර ආදී බොහෝ සිතුවම් වෙයි.

ගල්බඩ ගමක් වශයෙන් ගත් කල ලංකාවේ පළමු ප‍්‍රාදේශීය ගම් උදාව ඇරඹුනේ මෙගමිනි. ඒ 1983 වර්ෂයේය. කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ක්‍දාණිස්සර නාහිමියන්ගේ අදහසකට අනුව අගමැති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගල්බොඩ ප‍්‍රාදේශීය ගම් උදාව ක‍්‍රියාවට නැංවීය.
ගල්බඩ `ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) උපන් ගම ගල්බඩය. උන්වහන්සේගේ පැවිදි වීම පිළිබඳව ද අපරැක්කේ ධම්මානන්ද නාහිමියෝ විස්තර කළහ.

පරවාහැර දේවානන්ද නායක හිමියන් සහ එදා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන් කල්‍යාණ මිත‍්‍රයෝ වූහ. ඒ නිසා ඉඳහිට වාචිස්සර නාහිමියෝ ගල්බඩ සුනන්දාරාමයට වැඩම කළහ. විහාර ගෙයි උළු සෙවිලි කරන උත්සවයට දෙවුන්දර වාචිස්සර හිමියන් වැඩම කළ අවස්ථාවේ ගංගාරාමයේ පැවිදි කිරීමට කොල්ලෙක් සොයා දෙන ලෙස දේවානන්ද නාහිමියන්ගෙන් ඉල්ලීය. ඒ අනුව නායක හිමියෝ දරුවෙක් සොයා බැලූහ. ගල්බොඩ `ක්‍දාණිස්සර නාහිමියන්ගේ මාපියන් පන්සලට ගෙන්වා කාරණය කිවූහ. ඒ අනුව මාපිය කැමැත්ත මත කුල කුමරුවා කොළඹට කැඳවාගෙන ආවේය. එදා මේ ගමනට වත්මන් සුනන්දාරාම විහාරාධිපති අපරැක්කේ ධම්මානන්ද හිමියෝ ද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පියා ද එක් වූහ.

ඉන් පසු කොළඹ ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ගල්බඩ `ක්‍දාණිස්සර නමින් පොඩි හාමුදුරුවෝ පැවිදි බිමට එළඹියහ.උන්වහන්සේ ගල්බඩ සුනන්දාරාම විහාර දියුණුවට පුරෝගාමී වූ බව අපරැුක්කේ ධම්මානන්ද නාහිමියෝ අපට පැවසූහ. වතුර මෝටර් ලබා දීම, පරිගණක මධ්‍යස්ථානයක් ලබා දීම හා ටයිපින්, වෑල්ඩින්, ඩ‍්‍රයිවින්, විදුලි කාර්මික, ජුකී මැෂින්, මැහුම් ගෙතුම්වලින් සමන්විත අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කර දීම මෙහිලා කැපී පෙනේ.



පරවාහැර දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ගල්බඩ සිරි සුනන්දාරාම විහාරයේ පමණක් නොව තත් ග‍්‍රාම සංවර්ධනයේ ද නියමුවා වන්නේය.
උන්වහන්සේගේ දැක්ම, කලාත්මක හැකියාව ගල්බඩ සුනන්දාරාම විහාරයේ සිට ගම පුරා පැතිර ගියේය.

ලාංකීය බොදු සිතුවම් කලාවට විශිෂ්ඨ සන්ධිස්ථානයක් වන ගල්බඩ සුනන්දාරාම විහාරය චිත‍්‍ර කලාව, මූර්ති ශිල්පය හදාරන සෑම කෙනකුම පැමිණ දැක බලා ගත යුතු තැනක් හැටියට අපි විශ්වාස කරමු.

[උපුටා ගැනීම: ලංකාදීප]

0

Total Pageviews



Youtube Channel